මප/කටු/ඉඩමේගම මධ්‍ය මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

විදුහලේ විදුහල්පති වසන්ත දේවසිංහ මැතිතුමා ස්ථාන මාරුවීම් ලබා වෙනත් පාසලකට යාම

ඉඩෙක්ස් ප්‍රදර්ශනය

slide 1.png
slide 1.png

 

       විසි වන සියවසේ මුල් දශකයේදී පමණ ඉතා සුළු ශිෂ්‍ය සංඛ්‍යාවකින් මිශ්‍ර පාසලක් ලෙස හෑදෙණිය දෙවල්කන නම් ස්ථානයේ පිහිටි ගඩොල් පෝරණුවක සෑදු කුඩා පොල් අතු මඩුවක ළමුන් 15 -20 අතර පිරිසකගෙන් රත්නායක නම් ගුරුවරයෙකු මෙම අධ්‍යාපන ආයතනය ආරම්භ කරන බව ජන වහරේ පවතී. මේ අවධියේ ලංකාවේ ක්‍රිස්තියානි පාඨශාලාද සීඝ්‍රයෙන් ආරම්භ වූ නිසා එකල සිටි බෞද්ධයෝ බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට ස්ථානයක් සෙවූහ. එකල හාරිස්පත්තුවේ රටේ මහත්තයා හෙවත් උප දිසාපති තනතුර දැරූ බී.බී නුගවෙල මැතිතුමා එතුමන්ගේ ඉඩමේගම පිහිටි කුඹුරේ පාසලක් සෑදීමට අවසර ලබා දෙන ලදී. ඉන් පසු මෙම රටේ මහත්තයා නම් මුලාදෑනින්ගේ හා වෙනත් අයගේ සහය ඇතිව බණගෙයක ස්වරූපයෙන් ගොඩනැගිල්ලක් ඉදි කර 1885 දී පමණ දෙවල්කන තිබූ පාසල ඉඩමේගමට ගෙනාවේය. මෙකල ඉගැන්වූ ගුරුවරුන්ට වේතනයක් නොලැබුණි. 1885 දී බොතේජු නම් මහත්මයෙක් මුල් ගුරු තනතුරට පත් වී ඇත. ශිෂ්‍ය සංඛ්‍යාව 75 පමණ වූ අතර ඉහළ බාලාංශයේ සිට පස්වැන්න දක්වා පංති පවත්වා ඇත.මුල්ම රජයේ විදුහල්පතිවරයෙකු ලෙස පත්වන්නේ 1890 දී සොලමන්ද සිල්වා මහතාය.

          1938 දී ශීස්‍ය සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වූ නිසා පාසල් ගොඩනැගිල්ලේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීය. අලුත් ගොඩනැගිල්ලක් ඉදි කිරීමට දළුග්ගලේ විහාරස්ථානයේ වැඩ විසූ කළු හාමුදුරුවෝ නමින් හැදින්වූ ස්වාමින් වහන්සේ දැනට ප්‍රධාන ශාලාව තිබෙන ගොඩනැගිල්ල සාදා ඇති බිම පරිත්‍යාග කලහ.1939 දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමා විසින් මෙම ගොඩනැගිල්ල විවෘත කර ඇත. මෙකල පළමුවැනි පංතියේ සිංහල පාසලක් බවට පත් විය. මීට අමතරව ලාක්ෂා කර්මාන්තය, විවීම, මැටි කර්මාන්තය හා කෘෂී කර්මාන්තය වැනි විෂයයන් ඉගැන්වූ ප්‍රායෝගික පාසලක් ලෙස ප්‍රසිද්ධියට පත් විය.

          රජයේ බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස ආරම්භ වූ මෙම විද්‍යාලය ආදර්ශ කෘෂි කර්ම පාසලක්, මොනිටර්වරුන්ගේ විභාග මධ්‍යස්ථානයක්, ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රායෝගික විද්‍යාලයක් ලෙසටද පත් ව ප්‍රදේශයේ දූ පුතුන්ගේ නැණ නුවණ පාදන්නට විශාල මෙහෙයක් ඉටු කොට ඇත. ක්‍රමයෙන් සංවර්ධනය වූ මෙම විද්‍යාලය 1963 දී මහා විද්‍යාලයක් ලෙසටත් 1998 දී මධ්‍ය මහා විද්‍යාලයක් බවටත් පත් ව ඇති අතර 2021 වර්ෂයේදී ජාතික පාසලක් ලෙස නම් කරන ලදී.